නාලක ද සිල්වා , අමල් පෙරේරා හා මාකදුරේ මධුෂ් සමග සබඳතා පවත්වා ඇත්දැයි පරීක්ෂණ

by Staff writer 13-02-2019 | 8:36 PM
COLOMBO (News 1st) - හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායන ශිල්පී අමල් පෙරේරා යන මහත්වරුන් සහ මාකදුරේ මධුෂ් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ඇති බවට වන තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ගායන ශිල්පී අමල් පෙරේරා මහතා සහ මාකදුරේ මධුෂ් යන අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව ය. ඊට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියේ ය. එම දෙපාර්තමේන්තුව අධිකරණයේදී අනාවරණය කළේ, 2016 වසරේ ජුලි මස 21 වන දා ගායන ශිල්පී අමල් පෙරේරා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා හමු වීමට ඔහුගේ කාර්යාලයට පැමිණ ඇති බව ය. ඒ තුළින් ඔවුන්ගේ සබඳතාව පිළිබඳව පැහැදිලි වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අමල් පෙරේරා මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයට පැමිණි අවස්ථාවේ එහි රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකු කුමන කාරණයකට පැමිණියේ දැයි අමල් පෙරෙරා මහතාගෙන් විමසීමක් කර ඇති බව ය. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා එම අවස්ථාවේ කෝපයට පත්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. එමෙන් ම අදාළ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඔහු පුහුණුවකට අනුයුක්ත කර ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කිරීම ඇතුළු දඬුවම් 3ක් ලබා දී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. මේ අතර මෙම කරුණු අනාවරණය වූයේ ජනාධිපතිතුමා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී ය. ඊට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා මේ මස 27 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලීසියට නියෝග කළේ, අදාළ ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව මීළඟ නඩු දිනයේදී කරුණු දක්වන ලෙස ය. මේ අතර ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක් අද පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, එම කාන්තාවගේ ඥාතිවරියකට අයත් බව කියන නවීන වෑන් රථයක් සහ ඥාතිවරයෙකුට අයත් බව කියන ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මෙහිදී පොලිස් භාරයට ගත් බව ය. මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගැනුණු කංචිපානි ඉම්රාන්ගේ සගයෙකු බවට සැක කරන මොහොමඩ් නියාස් මොහොමඩ් අස්වර් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකු ද අද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරෙන මාලිගාවත්ත ප්‍රදේශයේ කංචිපානි ඉම්රාන්ට අයත් ගොඩනැගිල්ලක් භාරව සිට තිබේ.