තවත් තරගාවලියක් අද ඇරඹෙයි

තවත් තරගාවලියක් අද ඇරඹෙයි

by Staff writer 13-02-2019 | 8:59 AM
COLOMBO (News 1st) : මසක් පුරා පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඩර්බන්හිදී ආරම්භ වේ. 1993 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 27ක් පවත්වා ඇති අතර ඉන් තරග 14ක් ජය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයගෙන තිබේ. තරග 7ක් පමණක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. දෙරට අතර පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 11න් තරගාවලි 7ක ජය තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකා කන්ඩායම සමත් වී ඇති අතර තවත් එක තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. කෙසේ නමුත් පසුගිය වසරේදී මෙරටදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ ශ්‍රී  ලංකා කණ්ඩායමයි. හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමත් සමග දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබේ. නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ම මෙවර අවස්ථාව හිමිව ඇති අතර ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, මොහොමඩ් ශිරාස් හා මිලින් ද සිරිවර්ධනද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වෙති. ඔස්ට්‍රේලියා සංචාරයට ඇතුළත් නොවූ කෞෂාල් සිල්වාට ද ස්ථානයක් හිමිව තිබේ. මේ අතර තරගයට පෙර මාධය හමුවට එක්වෙමින් දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් සඳහන් කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය පවත්වන මෙම වර්ෂයේදී නැවත වරක් මෙම තරගාවලිය ජයග්‍රහණය කරමින් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණිමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ඩර්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලොව ඇති දර්ශනීය ක්‍රීඩාංගණවලින් එකක් ලෙස සැලකෙන අතර මෙම තණ තීරුව වේගපන්දු යවන්නන් හට උචිත ලෙස හැඩගැසී තිබේ. ඩර්බන් පිටියේදී ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.