අතිරේක විදුලිය මිලදී ගැනීම්වලට අදාළව අමාත්‍ය මණ්ඩලයෙන් විදුලිබල අමාත්‍යංශ ලේකම්ට නියෝගයක්

by Staff writer 13-02-2019 | 6:03 PM
COLOMBO (News 1st) - කෙටි කාලීන පදනම මත අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට අදාළව ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්ව ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය මණ්ඩලය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබේ. අමාත්‍ය මණ්ඩලය අදාළ නියෝගය කර තිබෙන්නේ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉකුත් ජනවාරි 28 වන දා කැබිනට් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියේ කරුණු සැලකිල්ලට ගනිමිනි. කෙටි කාලීන පදනම මත අතිරේක විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලා විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංදේශයකට ඉකුත් ජනවාරි මස 11 වන දා අනුමැතිය හිමි විය. එම සංදේශයෙන් විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා තිබුණේ, හදිසි අවශ්‍යතාවක් මත අදාළ විදුලිය ධාරිතාව මිලදී ගත යුතු බැවින් එය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දෙන ලෙස ය. එහෙත් ජනවාරි මස 28 වන දා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ස්ථාවර කැබිනට් ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් අවධාරණය කර තිබුණේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවා විදුලිය මිලදී ගැනීමට යාමේදී තම කොමිසමේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුව තිබෙන බව ය. මෙම කරුණු පිළිබඳව පසුගිය ජනවාරි මස 26 වන දා විමර්ශන තුළින් අපි අනාවරණය කළෙමු.