අගමැතිට හා අධ්‍යාපන ඇමතිට කුරුණෑගලදී මහජන විරෝධය

by Staff writer 13-02-2019 | 9:01 PM
COLOMBO (News 1st) - ළඟම පාසල හොඳම පාසල යටතේ ඉදිවූ කුරුණෑගල විශ්වෝදා ජාතික පාසල අද සිසු අයිතියට පත් කෙරිණි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. අග්‍රාමාත්‍යවරයා උත්සවයට සහභාගී වීම සඳහා පැමිණෙන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීහු විරෝධතාවක නිරත වූහ. ඒ, අද ආරම්භ වන නව පාසලට ඒ අවට ප්‍රදේශවල සිසුන් ඇතුළත් කර නොගන්නා බවට චෝදනා කරමිනි. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින්ට උත්සව භූමියට පැමිණීමට ද බාධා එල්ල වූ අතර ආරාධිතයින්ට මාර්ගය විවෘත කර දීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. දැඩි පරිශ්‍රමයකින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට උත්සව භූමියට යාම සඳහා මාර්ගය විවෘත වූ අතර, උද්ඝෝෂකයින් විසිර ගියේ අකිල විරාජ් කාරියවසම් මහතා පැමිණ ලබා දුන් පොරොන්දුවක් මත ය.