IOC ත් තෙල් මිල ඉහළ දමයි

IOC ත් තෙල් මිල ඉහළ දමයි

by Sagarika Chathumali 12-02-2019 | 6:53 AM
COLOMBO (News 1st) : ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉන්ධන මිල  ඉහළ යාමට සාපේක්ෂව ලංකා IOC සමාගමත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දමා ඇත. කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදුව නොමැති බව IOC සමාගම නිවේදනය කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දැමූ අතර ඒ අනුව රුපියල් 123.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00 කින් ඉහළ දැමී ය. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 129.00 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 152.00 ක් වනු ඇත. රුපියල් 99.00 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 103.00 ක් දක්වා ඉහළ දමා තිබේ. සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ, රුපියල් 126.00 ක් ලෙසයි. එය රුපියල් 8.00 කින් ඉහළ දැමිණ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්ධන මිල සුත්‍රය හඳුන්වාදීමෙන් පසුව ජාත්‍යන්තර මිලට අනුව සිව්වරක් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති අතර 5 වරක් මිල අඩු කිරීමට හැකි වූ බවයි. පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ ගිය ද බස්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.