රනිල්ට එරෙහි පෙත්සම්කාර පාර්ශවයේ පිළිතුරු ගොනු කිරීම ලබන 26 වන දා

by Staff writer 12-02-2019 | 9:21 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවා තිබේ.

මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මිය විසිනි. රනිල් වික්‍රමසිංහ මහතා සිය පවුලේ සමාගමක් වන ලේක් හවුස් ප්‍රින්ටර්ස් සහ පබ්ලිසර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවෙකු බවත් එම ආයතනය පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුම්වලට එළඹ ඇති බවත් පෙත්සමෙන් දක්වා ඇත. පෙත්සම්කාරිය පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය සමග ව්‍යාපාරික ගිවිසුම්වලට එළැඹීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වලක්වා ඇති බවයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කිරීම වලක්වමින් කෝ වොරොන්ටෝ රිට් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ. අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම කැඳවූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මූලික විරෝධතා ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ පෙත්සම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසය. පෙත්සම ගොනු කිරීමේදී පෙත්සම්කාරිය සහතික නොකරන ලද ඡායා පිටපත් සහිත ලේඛන පදනම් කර ගෙන ඇති බව ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් මහතා කියා සිටියේ ය. ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල තුන්වන වගන්තිය අනුව මුල් පිටපත් නොමැති ලේඛන සලකා බැලිය නොහැකි බැවින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසයි. රනිල් වික්‍රමසිංහ මහතා එළැඹ ඇතැයි කියන ගිවිසුමට අදාළ ලේඛනය ඉදිරිපත් කිරීමට ද පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ ය. පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පැවසුවේ, සිද්ධියට අදාළ චෙක්පත්වල මුල් පිටපත් පෙත්සමට අමුණා ඇති බවයි. පෙත්සම්කාර පාර්ශවයේ පිළිතුරු ගොනු කිරීමට ලබන 26 වන දා දක්වා කල් ලබා දුන්නේ ය.