තිස්ස එරෙහි නඩුව අවසන් කර ගැනීමට එකඟතාවක්

තිස්ස එරෙහි නඩුව අවසන් කර ගැනීමට එකඟතාවක්

by Staff writer 12-02-2019 | 2:00 PM
COLOMBO ( NEWS 1ST): එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට දෙපාර්ශවයම මේ වන විට එකඟතාව පළ කර ඇති බව අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය. නඩුව ගොනු කර ඇත්තේ, වත්මන් ජනාධිපති වරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා, පසුගිය ජනාධිපතිවරනය සමයේදී කූඨ ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා නගමිනි. නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ මෙම අධිචෝදනා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විත්ති පාර්ශවය නීතිපතිවරයා වෙත ලිපියක් එවා ඇති බවයි. තවද මෙම නඩුව සමථයකින් අවසන් කර ගැනීමට නඩුවේ පළමු සාක්ෂිකරු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළකර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය. කෙසේ වෙතත් නඩු කටයුතු අවසන් කර ගැනීම සමාව අයැදීමකින් ද සිදුවේ ද වෙනත් ක්‍රමයකින් සිදුවේ ද යන්න දැන ගැනීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝශන් පෙරේරා මහතා සඳහන් කළේ ය. නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැන ගැනීමට , ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා දැනුම් දුන්නේ ය. නඩුව කෙටි ක්‍රමයකින් සමාව අයැදීමකින් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙහිදී කියා සිටියේ ය. මෙම සමතවීම සම්බන්ධයෙන් ප්‍රගතිය දැන ගැනීමට නඩුව මාර්තු මස 25 කැඳවීමට නියමිතයි. . කූට ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරීමෙන්, ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට වන කරුණට අමතරව විත්තිකරු, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් වන ආකාරයට කටයුතු කර ඇති බවට නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබේ. තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ පනත, දණ්ඩ නීතිසංග්‍රහය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර් ජාතික සම්මුති පනතේ වැරදි සිදුකර ඇති බවට වන අධිචෝදනා තුනක් ඊට අයත් ය. පසුගිය ජනාධිපතිවරණය සමයට අයත් දිනක එනම් 2014 දෙසැම්බර් මස 22 දින මෙලෙස ගිවිසුමක් ඇති බවට ව‍්‍යාජ ලේඛනයක් තිස්ස අත්තනායක මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නගා තිබේ.