මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ අවසන්

by Staff writer 11-02-2019 | 6:20 PM

COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වේ.

එම පිරිස ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කරන දිනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. මාකඳුරේ මධුෂ් සමග ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ඇතුළු පිරිසක් පසුගිය 5 වන දා ඩුබාහිදී එරට පොලිස් අත්අඩංගුවට පත් විය. අදාළ සැකකරුවන් අතර සිටින ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා වෙනුවෙන් ඩුබායි පොලීසිය හමුවේ කරුණු දැක්වීමට මේ වන විටත් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් ඩුබායි වෙත ගොස් සිටි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පැවසුවේ, සිද්ධියට අදාළව ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ගණන සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිශ්චිතව තොරතුරු වාර්තා නොවුන ද අත්අඩංගුවේ සිටින පිරිසෙන් පුද්ගලයින් 18 දෙනෙකුට විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට මේ වනවිට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි. මේ අතර තමන් මාකඳුරේ මධුෂ් වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි වෙත පැමිණි බවට පළ වන වාර්තා පදනම් විරහිත බව ද නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ ය.