ට්‍රම්ප්ගේ දේශ සීමා පවුරේ සාකච්ඡා යළි අසාර්ථකයි

ට්‍රම්ප්ගේ දේශ සීමා පවුරේ සාකච්ඡා යළි අසාර්ථකයි

by Staff writer 11-02-2019 | 9:35 AM
COLOMBO (News 1st) : මෙක්සිකෝව අමෙරිකාවෙන් වෙන්කර ඉදිකිරීමට නියමිත පවුරට අයවැයෙන් ආධාර වෙන්කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ජා යළිත් වරක් අසාර්ථක වී තිබේ. ඒ , ඩිමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන් අතර අනවසර සංක්‍රමණිකයන් රැඳවුම් කඳවුරුවල තබාගැනීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මතගැටුමක් හටගැනීම හමුවේයි. මේ හේතුවෙන් අමෙරිකානු රජය යළිත් වරක් අර්ධ වශයෙන් අක්‍රිය භාවයට පත්වීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අද දින එකඟතාවයකට පැමිණිය හැකි වනු ඇතැයි අමෙරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපේක්ෂා කර තිබිණ. දින 35 ක් පුරා පැවති දීර්ඝතම රජය අර්ධ වශයෙන් අක්‍රිය වූ කාලසීමාව අවසන් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සති තුනක කාලයකට ෆෙඩරල් රජයට ආධාර අනුමත කළ අතර එම කාල සීමාව ලබන සිකුරාදායින් අවසන් වීමට නියමිතයි.