එල්ලුම් ගහේ කටයුතු කඩිනම් වෙයි

එල්ලුම් ගහේ කටයුතු කඩිනම් වෙයි

by Sagarika Chathumali 11-02-2019 | 7:10 AM
COLOMBO (News 1st) : එල්ලුම් ගහ සඳහා භාවිත කිරීමට නියමිත කඹය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යොමු කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2015 වසරේදී පාකිස්ථානයෙන් ගෙන්වා ඇති එම කඹය මරණ දඬුවම ලබාදීම සඳහා යොදා ගැනීමට සුදුසු ද යන්න පරීක්ෂා කරීම සඳහා එලෙස ප්‍රමිති කාර්යංශයට යොමු කළ බවයි. එම කඹයේ ප්‍රමිතියෙහි කිසියම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වුවහොත් සුදුසු තත්ත්වයේ කඹයක් ඉතා කඩිනමින් විදේශීය රටකින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මේ අතර අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් අද සිට කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම නියම වි සිටින දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවයි. ඒ අනුව ලබන 25 වනදා තෙක් අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් යොමු කළ හැකියි. මේ අතර එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද, මේ වන විට ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට අදාළව අවශ්‍ය පහසුකම් කඩිනමින් සම්පාදනය කරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කළ දැනුම් දීමකට අනුව මෙම පියවර ගත් බවයි. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව ජනවාරි 25 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබී ය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව එම ලැයිස්තුව භාරදුන් බවයි. එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී ඇති රැඳවියන් සංඛ්‍යාව 17කි.