ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන්

ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන්

by Staff writer 10-02-2019 | 8:40 PM
COLOMBO (News 1st): මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලෙහි ප්‍රවර්ධන චාරිකාව නුගේගොඩ අනුලා විද්‍යාලයේදී අද නිමාවට පත් විය. 2017 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා ස්පොට්ස් ෆස්ට් අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙල පැවැත්වේ. ප්‍රධාන සම්මාන 20 ක් ඇගයීම් පදක්කම් 10 ක් මෙවර පිරිනැමෙන අතර ක්‍රීඩකයෙකුට ජිවීතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි ප්ලැටිනම් සම්මානය ද සූදානම්ව පවතී. මාර්තු 29 වැනිදා සම්මාන උළෙල පැවැත්වෙන්නේ රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණයේදීයි. ඉකුත් ජනවාරි 16 වැනිදා සිට දින 26 ක් දිස්ත්‍රික්ක 25 ක් ආවරණය වන පරිදි සිදු කෙරුණු ප්‍රවර්ධන චාරිකාව අද පෙරවරුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයට පැමිණියේ ය. විදුහල්පතිනි ජයනි ප්‍රිශංගිකා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ අතුල විජේවර්ධන , සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් , ආලියාන්ස් ආයතනයේ සහකාර සමාන්‍යාධිකාරි (විකුණුම්) ජයනාත් අල්විස් යන මහත්ම මහත්මීන් මෙන්ම ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. දින 26 ක් මහජනතාව අතර සැරිසැරූ අපේක්ෂාවේ ගිනිසිළුව අද සිමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතාට සහ අලියාන්ස් ආයතනයේ සහකාර සමාන්‍යාධිකාරී ඩිල්ශාන් රොද්‍රිගු මහතාට ලබාදුන්නේ ප්‍රවර්ධන චාරිකාව නිල වශයෙන් අවසන් කරමිනි. වසරේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව මෙන්ම වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වෙනුවෙන්ද ප්ලැටිනම් සම්මාන පිරිනැමීමට නියමිතව තිබේ. වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්ලැටිනම් සම්මානය පිරිනැමෙන්නේ ක්‍රීඩාලෝලින්ගේ එස්.එම්.එස්. මනාපය අනුවයි. තෙවැනි වරට පැවැත්වෙන ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලට ඉදිරිපත් වන අයදුම්පත් ඇගයීමට ලක් කරන්නේ කිෂූ ගෝමස්, දමයන්ති දර්ශා, ශ්‍රියාණි කුලවංශ, ජුලියන් බෝලිං, මහාචාර්ය අර්ජුන ද සිල්වා, ඩිල්රෝයි ප්‍රනාන්දු සහ රුවන් කෑරගල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ජූරියක් මගිනි. https://www.youtube.com/watch?v=PaTdlG7MkAg