රංගන ශිල්පී රයන් වැන්ගේ මෝටර් රථය පොලිස් භාරයට

by Staff writer 09-02-2019 | 3:54 PM
COLOMBO (News 1st) - පාතාල කල්ලි නායක මකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝවෙන් මහතා භාවිත කළ මෝටර් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ. ඒ, වැලිගම පොලීසිය අද පෙරවරුවේ මිරිස්ස, උඩුපිල ප්‍රදේශයේ හෝටලයක කළ වැටලීමකදී ය. මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන් ෂයින් සුද්දා නමැත්තාට අයත් අදාළ හෝටලයේ තිබී එම මෝටර් රථය සොයා ගෙන තිබේ. වෙනත් පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති මෙම මෝටර් රථය රයන් රෝවෙන් මහතා භාවිත කර ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරේ ප්‍රදේශයේදී අද පෙරවරුවේ පොලිස් භාරයට ගැනිණි. පොලීසිය පැවසුවේ, පාදුක්ක පෝරේගෙදර අරලිය මාවතේ නිවසක් ඉදිරිපිට නතර කර තිබියදී එම මෝටර් රථය සොයා ගත් බව ය. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 54 හා 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ වන එම කාන්තාව මීට මසකට පෙර ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ. ඇය මහරගම දුම්රියපොළ පටුමගේ පදිංචිකාරියකි. මෙම කාන්තාව පාතාල කල්ලි නායකයෙකුව සිටි කළු තුෂාර නමැත්තාගේ බිරිඳ බව ද පොලීසිය සඳහන් කළේ ය. පාදුක්කේ නිවසේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට මාස කිහිපයකට පෙර අදාළ මහරගම නිවසට ගොස් ඇති බව ද විමර්ශනවලදී හෙළිවී තිබේ. පොලීසිය පැවසුවේ, සිය භාරයට ගත් මෝටර් රථය අපරාධ ක්‍රියාවන් සඳහා යොදා ගෙන ඇත් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව ය. මේ අතර ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරුවන්ගේ රුධිර සාම්පල මත කරන ලද පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇතැයි ඩුබායි ආරක්ෂක අංශ දැනුම් දී ඇති බව ය. සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තවදුරටත් සාකච්ඡා සිදු කරමින් ඇති බව ද ඔහු පැවසුවේ ය. මේ අතර මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට මෙරට නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත යැවීමට ද සැලසුම් කර තිබේ. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී පසුගිය 05 වන දා අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ය. අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5 දෙනෙකු සිටින අතර කන්චිපානි ඉම්රාන්, අංගොඩ චූටි, ඇතුළු ප්‍රබල අපරාධකරුවන් කිහිප දෙනෙකු ද වන බව පොලීසිය තහවුරු කළේ ය. මීට අමතරව අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද වේ. මාකදුරේ මධුෂ්ගේ දරුවෙකුගේ උපන් දින සාදයක් සඳහා මොවුන් සහභාගී වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.