මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සමග විදේශිකයින් ඇතුළු සැකකරුවන් 5 ක් අත්අඩංගුවට

by Staff writer 08-02-2019 | 7:38 PM

COLOMBO (News 1st) - අදත් ස්ථාන දෙකකදී මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සොයාගෙන තිබේ.

කොකේන් කිලෝග්‍රෑම් එකක් කටුනායකදී සොයාගත් අතර පෑලියගොඩින් සොයාගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 400 කට අධිකයි. පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පෑලියගොඩ පරණ පාලම මත අද අලුයම වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී කේරල ගංජා තොගය සොයා ගෙන තිබුණි. ඉන්දියාවේ සිට හලාවත මුහුදු තීරයට රැගෙනවිත් ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය පසුව කුඩා බෝට්ටුවකින් වත්තල ඇලකන්ද ප්‍රදේශයට ගෙනවිත් ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, මෙම කේරල ගංජා තොගයේ වීදියේ වටිනාකම රුපියල් මිලියන 40 ක් පමණ වනු ඇති බවයි. අත්අඩංගුවට ගත් කාන්තාවගේ නිවස පරීක්ෂා කිරීමේදී තව ත් කේරල ගංජා කිලෝග්‍රෑම් 20 ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. මේ අතර රුපියල් ලක්ෂ 150 කට අධික වීදියේ වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අද අලුයම අත්අඩංගුවට ගත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි. සැකකරු සන්තකයේ තිබී සොයා ගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 01 ක්. 34 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ මෙහෙයුමේදීය. සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුළක සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට තැත් කර තිබේ. පොලීසිය සැකකරන්නේ, මුම්බායි සිට ඔහු මෙරටට පැමිණ ඇති බවයි. 2018 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 737 ක් සමග සැකකරුවන් හතලිස්දාස් නමසිය අසු හතක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. එම වසරේ අත්අඩංගුවට ගෙන ඇති ගංජා සහ කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 4084 ක්. සැකකරුවන් පනස් හතරදාස් හයසිය හැත්තපහක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. කොකේන් කිලෝග්‍රෑම් 18 ක් සමග සැකකරුවන් 17 දෙනෙකු ද 2018 වර්ෂයේ අත්අඩංගුවට ගෙන ඇත. 2019 වසරේ මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 113 ක් සමග සැකකරුවන් 4370 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද අනාවරණය කළේ ය. සැකකරුවන් 4447 දෙනෙකු සමග පොලිස් භාරයට ගෙන ඇති ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 976 ක්. කොකේන් කිලෝග්‍රෑම් දෙකක් සහ ඊට අදාළව සැකකරුවන් 16 දෙනෙකු මෙම කාල සීමාවේ අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන් 8 දෙනා අද ලබන 22 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සැකකරුවන් සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ද පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාසය අද අධිකරණයට ඉදිරිපත් කළේ ය. මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේ අත්අඩංගුවට ගැනුනේ බේරුවල හා බලපිටිය අතර මුහුදු තීරයේදීයි. අනතුරුව සිදුකළ පරීක්ෂණවලින් හෙරොයින් ප්‍රවාහන කළ යාත්‍රාවේ හිමිකරු ඇතුළු තව ත් 6 දෙනෙකු අත්අංඩගුවට ගැනුණි. මේ අතර කොල්ලුපිටිය නිවාස සංකීර්ණයක් තුළ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් ඇතුළු පිරිස අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇෆ්ගනිස්ථාන ජාතිකයා ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.