මධුෂ් සමග අත්අඩංගුවට ගත් 6 දෙනෙකුගේ නිවෙස් පොලිස් පරීක්ෂාවට

by Staff writer 08-02-2019 | 5:54 PM

COLOMBO (News 1st) - මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකුගේ නිවාස පොලීසිය අද පරීක්ෂාවට ලක් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගාගේ, ගන්දර, තලල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල 8 ක් සොයා ගත් බවය. ඊට අමතරව ටී 56 ජීව උණ්ඩ 32 ක්, පතරොම් කොපු 38 ක්, යතුරු පැදි 3 ක් සහ තියුණු ආයුධයක් ද එම නිවසේ තිබී සොයා ගැනුණි. පොලීසිය සඳහන් කළේ, එම අවස්ථාවේ නිවසේ සිටි 67 හැවිරිදි ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගත් බවයි. මාකඳුරේ පිහිටි මධුෂ්ගේ නිවස ද පොලීසිය අද පරීක්ෂාවට ලක් කළ අතර එහි තිබී සැක කටයුතු කිසිවක් හමුවී නැත. මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී රයන් රෝවන් මහතාගේ මෝටර් රථයේ තිබී ගංජා ග්‍රෑම් 5 ක් සොයා ගෙන තිබේ. ඒ, වැලිගම මිරිස්ස ප්‍රදේශයේ හෝටලයක් පරීක්ෂා කිරීමේදීයි. ඊට අමතරව ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු බන්ධනාගාර නිලධාරියෙකු යැයි පැවසෙන ලලිත් කුරේ මහතාගේ නිවස ද පොලීසිය අද පරීක්ෂා කළේ ය. කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ කම්කරු යැයි පැවසෙන චරිත් නමැති අයෙකුගේ නිවස සහ මාළු අළෙවිකරුවෙකු වන ලංකා නමැත්තාගේ නිවස ද පොලීසිය අද පරීක්ෂාවට ලක් කර තිබුණි. ඊට අමතරව කුමාර නමැති ව්‍යාපාරිකයෙකුගේ නිවස ද පරීක්ෂා කළ බව පොලීසිය සඳහන් කළේ ය. එහෙත් ඔවුන්ගේ නිවෙස්වල තිබී සැක කටයුතු කිසිවක් හමුවී නැත.