ගුවන්යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි

ඔස්ට්‍රේලියාව බලා ගිය ගුවන්යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි

by Staff writer 08-02-2019 | 5:08 PM

COLOMBO (News 1st) - අබුඩාබි සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පියාසර කරමින් තිබූ A- 380 වර්ගයේ ගුවන්යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබේ.

එහි කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ගුවන් මගියෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ගුවන්යානය අද උදෑසන ගොඩබස්වා ඇති බවයි. රෝගාතුර වූ රුමේනියානු ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළ වෛද්‍ය ඒකකයට භාරදීමෙන් අනතුරුව ගිලන් රථයකින් මීගමුව ප්‍රදේශයේ රෝහලකට ඇතුලත් කෙරුණි. පසුව ඔහු ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය. ඒ අතරතුර යානයට අවශ්‍ය ඉන්ධන ද මෙරටින් ලබාගෙන තිබේ. එහෙත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද විය. එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ගුවන්තොටුපොළ අවට හෝටල් වෙත යොමු කෙරිණි. කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, එම ගුවන්යානය අද රත්‍රියේ දිවයිනෙන් පිටත්ව යනු ඇති බවයි.