සරත් එන්.සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

සරත් එන්. සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

by Staff writer 07-02-2019 | 12:34 PM

COLOMBO (News 1st) - හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව මැයි මස 8 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ.

ඒ, නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ E.A.G.A. අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය. පෞද්ගලික හේතුවක් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. එබැවින් මෙම නඩුව වෙනත් දිනයක සලකා බැලීමට අද නියෝග කර තිබේ. මේ අතර සරත් එන්. සිල්වා මහතා සිවිල් ඇඳුමින් සැරසී නීතිඥ අසුනක අසුන් ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය විරෝධය පළ කළේ ය. 2018 වසරේ දෙසැම්බර් මස 03 වන දා මරදාන හන්දියේදී ජාතික එකමුතුව නැමැති සංවිධානය සංවිධානය කළ රැළියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බව සරත් එන්. සිල්වා මහතාට මෙම පෙත්සමෙන් චෝදනා කර තිබේ. පෙත්සම මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු තිදෙනකු විසින් ගොනු කර තිබුණි. සරත් නන්ද සිල්වා මහතාගේ නීතිඥ භාවය ඉවත් නොකර සිටීමට හේතු දක්වන ලෙසට ද මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත. පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ, නැවත එවැනි අපහාසයක් විත්තිකරු විසින් සිදු කිරීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.