අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්...

සතියක් තුළ සිරියාවේ සහ ඉරාකයේ IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකියි - ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 07-02-2019 | 8:01 AM

ලබන සතිය වන විට සිරියාවේ සහ ඉරාකයේ අයි එස් ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

වොෂින්ටන් නුවරදී අයි එස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානයේ සාමාජිකයන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ, විදේශික ත්‍රස්තවාදීන්ට අමෙරිකාවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවයි. සිරියාවෙන් සිය සෙබළුන් ඉවත් කරගන්නා නමුත් අමෙරිකාව අඛණ්ඩව අයි එස් ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ප්‍රකාශ කළේ ය. මේ අතර අමෙරිකානු හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් පැවසූවේ, තිරසර ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් අයි එස් ත්‍රස්තවාදීන් යළි නැගීසිටීමේ අවදානමක් ඇති බවයි. අයි එස් ත්‍රස්තවාදීන් පරාජය කර ඇති බවත්, අයි එස් ත්‍රස්ත මර්දන මෙහෙයුමට යෙද වූ අමෙරිකානු සෙබළුන් දින 30 ක් තුළ ඉවත් කරගන්නා බවටත් ජනාධිපති ට්‍රම්ප් ඉකුත් දෙසැම්බර් මාසයේදී කළ ප්‍රකාශයෙන්, අයි එස් ත්‍රස්තවාදීන් මර්දනයට එක් ව සිටින රටවල් විමතියට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අයි එස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානය දැන් රටවල් 80 කින් සමන්විත අතර එය පිහිටවනු ලැබුවේ 2014 වසරේදීයි.