වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා යළිත් අසාර්ථකයි

by Staff writer 07-02-2019 | 5:20 PM
COLOMBO (News 1st) - වතු කම්කරුවෙකුගේ වැටුප තවදුරටත් ඉහළ දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ. මෙම සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, දමිළ ප්‍රගතිශීලි පෙරමුණේ නියෝජිතයින් සහ වතු හාම්පුතුන් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. එම සාකච්ඡාවේදී වතු කම්කරුවෙකුගේ වැටුප තවදුරටත් ඉහළ දැමිය නොහැකි බව වතු හාම්පුතුන් පවසා තිබේ. වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ දමමින් පසුගිය 28 වන දා ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තැබුවේ ය. ඒ අනුව දීමනා සමග වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 855කි. එහෙත් දමිල ප්‍රගිතිශීලි පෙරමුණේ නියෝජිතයින් පවසන්නේ, වතු කම්කරුවෙකුගේ වැටුප වැඩි වී ඇත්තේ රුපියල් 20කින් පමණක් බව ය. ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමු වී ඒ පිළිබඳව පැහැදිලි කිරීමෙන් අනතුරුව වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 700ක් දක්වා ඉහළ දමමින් නිකුත් කිරීමට නියමිතව තිබූ ගැසට් නිවේදනය අත්හිටවනු ලැබුවේ ය.