පුළුල් සන්ධානය ගොඩනැගීම ගැන ජනපති සාකච්ඡාවක...

පොහොට්ටුව හා නිදහස් සන්ධානය අතර පුළුල් සන්ධානය ගොඩනැගීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා

by Staff writer 07-02-2019 | 6:34 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලනික සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත් විය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකු ද පත්කළ බවයි. ඒ අනුව දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ඒ.එච්.එම් අතාවුල්ලා ,ඩඩ්ලස් දේවානන්ද යන මහත්වරුන් එම කමිටුවට පත් කර ඇත. නව දේශපාලන සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් වන එකඟතාවයන් ඉදිරි සති දෙක තුළ ලබා දෙන්නැයි ද එම කමිටුවට පවරා දුන් බව තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, කමිටුවේ සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ පක්ෂ නායකයින් ලබන 16 හෝ 17 යළි රැස්වීමට ද නියමිතව ඇති බවයි.