මධුෂ්ගේ සහ මංජුගේ සහයකයින් තිදෙනෙක් අත්අඩංගුවට

පාතාල නායක මධුෂ්ගේ සහ මංජුගේ සහයකයින් තිදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

by Staff writer 07-02-2019 | 12:01 PM

COLOMBO (News 1st) - ප්‍රබල පාතාල නායකයින් වන මාකඳුරේ මධුෂ්ගේ සහ ඩී. මංජුගේ සහයකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වත්තල ප්‍රදේශයේ අද අලුයම කළ මෙහෙයුමකදීයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී අයිස් නැමැති මත්පෙති 20 ක් ද සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 26, 29, සහ 32 හැවිරිදි වියේ පසුවන්නන් ය. සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයට භාරදීමට පියවර ගන්නා බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ ය. මේ අතර ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ බවට සැකපිට පසුගිය දා බංගලාදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාගෙන් ප්‍රශ්න කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් මේ සතිය තුළ බංග්ලාදේශය වෙත පිටත්ව යන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඊට අදාළ අනුමැතිය මේ වන විට ලැබී ඇති බවයි. 2018 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටදී අත්අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා ඔවුන් සම්බන්ධ වී ඇති බවට සැක කරන බව බංග්ලාදේශ ආරක්ෂක අංශ අනාවරණය කළේ ය.