නවසිලන්තය හමුවේ ඉන්දියාවට දැවැන්ත පරාජයක්

නවසිලන්තය හමුවේ ඉන්දීය කණ්ඩායමට පළමු 20 යි 20 තරගයෙන් දැවැන්ත පරාජයක්

by Staff writer 07-02-2019 | 7:33 AM

ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අන්තර්ජාතික පන්දුවාර 20 යි 20 පිටියේ දැවැන්තම පරාජය හිමිකරදීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමත් සමගයි. වෙලිංටන්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක නවසීලන්තය කඩුලු 6 කට ලකුණු 219 ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ටිම් ෂීෆර්ට් ලකුණු 84 යි. පන්දු 43 කින් ඔහු රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 7 ක් සහ 6 පහර 6 ක් ඇතුලත් ය. නායක කේන් විලියම්සන් සහ කොලින් මුන්රෝ ලකුණු 34 බැගින් රැස් කළේ ය. රොස් ටේලර් ලකුණු 24 යි. හර්දික් පාන්ඩ්‍යා ලකුණු 51ට කඩුලු 2 ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ලකුණු 29 යි. විජේ ශංකර් ලකුණු 27ක් රැස් කළේ ය. මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 39යි. ඉන්දීය පිතිකරුවන් සිව්දෙනෙකුම එක් ලකුණකට දැවී ගියහ. ටිම් සවුති ලකුණු 17ට කඩුලු 3යි. ලොකී ෆර්ගසන් සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 2 බැගින් දවා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේදී ලකුණු 139කට දැවී ගොස් තිබේ.