මාකදුරේ මධුෂ් සමග රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බවට අනාවරණයක්...

by Staff writer 06-02-2019 | 7:05 PM

COLOMBO (News 1st) - ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් නැමැත්තා ඇතුළු පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බව එරට කලීජ් ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ.

අදාළ සැකකරුවන් තම අත්අඩංගුවේ සිටින බව ඩුබායි පොලීසිය තහවුරු කළ බව ද එම වාර්තාවේ සඳහන් විය. ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුව ගත් බව පොලීසිය ඊයේ ප්‍රකාශ කර තිබේ. ඩුබායි කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ, මේවනවිට අත්අඩංගුවේ පසුවන්නේ සැකකරුවන් 20 දෙනෙකු බවයි. මෙම වැටලීම ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා බලධාරීන් සමග ඒකාබද්ධව සිදු කළ බව ද එම පුවත්පත පවසයි. මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දෙරට බලධාරීන් සාකච්චා කරමින් සිටින බව ද කලීජ් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සඳහන් විය. මේ පිරිස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ආරක්ෂක අමාත්‍යංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක් ව සම්බන්ධීකරණය කරන බව පොලීසිය පවසා ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛපෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් පස්දෙනෙකු සිටින අතර කන්චිපානි ඉම්රාන්, අංගොඩ චූටි, ඇතුළු ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනෙකු සිටින බව පොලීසිය තහවුරු කළේ ය. මාකදුරේ මධුෂ්ගේ දරුවෙකුගේ උපන් දින සාදයක් සඳහා මෙම මෙම 25 දෙනා සහභාගිවී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.