නව මිසයිල පද්ධතියක් නිර්මාණයට රුසියාව සැරසෙයි

නව මිසයිල පද්ධතියක් නිර්මාණයට රුසියාව සැරසෙයි

by Staff writer 06-02-2019 | 9:55 AM
(News 1st) - මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු නව මිසයිල පද්ධතියක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ශොයිගු සඳහන් කළේ, ලබන වසර 2ක තුළ මෙම මිසයිල පද්ධතිය නිර්මාණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය. අමෙරිකාව ඉවත් වීමෙන් අවලංගු වූ මෙම න්‍යෂ්ටික මිසයිල ගිවිසුමට අනුව දෙරටට කෙටි සහ මැදිදුර මිසයිල භාවිතය තහනම් වී තිබිණි. රුසියාව මෙම ගිවිසුම කඩ කර ඇතැයි චෝදනා කළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉන් සිය රට ඉවත් කර ගන්නා බව ඉකුත් සතියේ ප්‍රකාශ කිරීමෙන් පසු රුසියාව ද සිය රට එම ගිවිසුමෙන් ඉවත් කර ගනු ලැබුවේ ය. මෙම තත්ත්වය දෙරට, නව අවි එක් රැස් කර ගැනීමේ තරගයකට යොමු කරනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයෝ මත පළ කළහ. යුරෝපීය රටවල් ආශ්‍රිතව අමෙරිකාව සහ රුසියාව මිසයිල ස්ථානගත කිරීමෙන් හට ගත් අර්බුදය සමනය කිරීමේ අරමුණින් මෙම මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමට දෙරට අත්සන් තැබුවේ 1987 වසරේදී ය.