ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට?

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට - අනුර කුමාර දිසානායක

by Staff writer 06-02-2019 | 3:22 PM

COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

විපක්ෂයේ විරෝධතාව නොතකා, මෙම තීරණයට එළැඹි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක,
අද හවස 2.30 පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීම පැවැත්වුනා. එහිදී සියලු පක්ෂ විරුද්ධ වෙද්දි ආණ්ඩු පක්ෂයේ පමණක් එකඟතාවයෙන් හෙට දිනයේ ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අමාත්‍යවරු සංඛ්‍යාව 30 - 48 දක්වාත් අමාත්‍ය ධූර 48 - 18 කින්, ඒවගේම නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 - 45 දක්වා 5 දෙනෙකුගෙන් වැඩි කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබෙනවා. මෙම ජාතික ආණ්ඩුවට එකතු වෙන පක්ෂ කවරේද කියලා අහපුවහම එක පක්ෂයයි මුස්ලිම් කොංග්‍රසය. හැබැයි මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් ආණ්ඩුව නියෝජනය කරමින් ඉන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ හිල් හොයමින් අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා දරන මේ ප්‍රයත්නය පරාජයට පත් කළ යුතුයි. ජාතික ආණ්ඩුවේ තමන්ගේ ඔළුවේ මනස්ගාතයක් හදාගෙන තමන්ගේ සුරතලුන්ට රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන්න නාස්ති කරන්න මහජනයාගේ ධනයෙන් වරදාන විඳින්න මේ අමාත්‍ය ධූර වැඩි කර ගැනීමේ යෝජනාව මේ රටේ ජනතාව විසින් පරාජයට පත් කළ යුතුව තිබෙනවා. ඒවගේම ජනාධිපතිවරයටත් මේ නිශ්චිත මොහොතේ ඉතා විශේෂ වගකීමක් තිබෙනවා. ඔහු අතින් තමන් මේ අමාත්‍ය ධූර ලබාදිය යුතු වන්නේ ඒ නිසා මේ අත්තනෝමතික හිතුවක්කාරේ රනිල් වික්‍රමසිංහ ව්‍යස්ථාවේ හිල් හොයමින් දරන ප්‍රයත්නයට ජනාධිපතිවරයා ඉඩ ලබාදිය නොදිය යුතුයි කියන යෝජනාව අපේ තිබෙනවා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම යෝජනාවට විරෝධය පළ කර තිබේ. රාජපක්ෂ මහතා අවධාරණය කළේ, ආණ්ඩු පක්ෂයේ තීරණය මත හෙට එය විවාදයට ගැනීමට තීරණය කිරීම බලය අයුතු ලෙස භාවිත කිරීමක් බවයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, දිනේෂ් ගුණවර්ධන,
අපි ප්‍රශ්න කළා මෙහි පදනම. ඒ වගේම අපි විරුද්ධ වුණා වැරදි ප්‍රතිපත්තියක් අනුව යෝජනාවල් උදේ ගෙනල්ලා අත්හිටුවලා එදාම සම්මත කරන ක්‍රියාවලිය වැරදියි. මන්ත්‍රීතුමන්ලට දැනුම්දීලා තියෙන්නේ වෙන දෙයක් හෙට තියෙන්නේ කියලා. ඉතින් පිළිවෙත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ද්‍රවිඩ සංවිධානයත් ප්‍රකාශ කළා මේක වැරදියි කියලා. ආණ්ඩුවට කවුරුත් නැහැ. ආණ්ඩුවට ඉන්නේ මුස්ලිම් කොංග්‍රස් එක. ඊනියා යෝජනාවක් පිළිබඳ කරන්න හදන විහිලුවක් ගැන මං කිව්වා. කතානායකතුමත් කිව්වා පිළිවෙළකට කල්දීලා පාර්ලිමේන්තුව වැඩ කරන විදිහට වැඩ කරන්න කියලා නමුත් ඒක නොතකා සභානායක කියනවා රජයේ කටයුතු අත්‍යවශ්‍යයි හෙට ඉදිරිපත් කිරීමටත් ඡන්ද විමසීමටත්.
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
අපේ පියවර ස්ථාවර නියෝග අනුව ව්‍යවස්ථාව අනුව හැමවෙලාවෙම අපි ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැහැ. ඒක කරන්නේ කලාතුරකින් නමුත් හදිසි අවශ්‍යතාවයක් වුනහම අපි ස්ථාවර නියෝගය අත්හිටුවලා ඉදිරිපත් කරන්න ඒ අයිතිය තියෙනවා. පක්ෂ කිහිපයක් විරුද්ධ වුණා නමුත් රජයේ වැඩ කටයුතුවලට ප්‍රමුඛතාව දිය යුතුයි.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ආණ්ඩුවට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය තියෙනවද මේ වෙලාවේ?
පිළිතුර,
පැහැදිලිවම තියෙනවා.