2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට: රජයේ වියදම රුපියල් බිලියන 4450ක්

by Staff writer 05-02-2019 | 9:11 PM
COLOMBO (News 1st) - මේ වසරේ රජයේ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2019 අයවැයට අදාළව අද ඉදිරිපත් කෙරුණු ඇස්තමේන්තු අනුව මේ වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4450 කි. ඉන් රුපියල් බිලියන 2232ක් ණය හා පොළී ගෙවීම් සඳහා වෙන් කර තිබේ. මෙවරත් වැඩිම මුදල වන රුපියල් බිලියන 392ක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයටයි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 291කි. රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 216ක් ද සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 186ක් ද වෙන් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් මෙවර වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 104කි. අද ඉදිරිපත් කෙරුණු වැය ඇත්තමේන්තුවට අදාළ ආදායම් උපයා ගන්නා මාර්ග ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව ලබන මස 05 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.