ජනපති හා මාලදිවයින් ජනපති අතර හමුවක්

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට මාලදිවයින් ජනපති එකඟතාව පළ කරයි

by Staff writer 05-02-2019 | 8:30 PM
COLOMBO (News 1st) - නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා - මාලදිවයින් ජනාධිපතිවරුන් අද එකඟතාව පළ කර තිබේ. ජාතික දින උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට පැමිණි මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව පෙරවරුවේ පැවැත්විණි. ජනාධිපති කාර්යාලයේදී මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරක් ද පිරිනැමිණි. අනතුරුව පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන විශේෂ වැඩපිළිවෙළ මාලදිවයින් ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දීර්ඝ කාලීන මිත්‍ර රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයින් දෙපළ මෙහිදී තීරණය කළ බව ය. වෙළෙඳ, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන සහ නාවික ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ එම ක්ෂේත්‍රවලට අදාළව නව ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.