රේගුවේ අකුරට වැඩ, වර්ජනයක් දක්වා දුරදිග යන ලකුණු

රේගුවේ අකුරට වැඩ, වර්ජනයක් දක්වා දුරදිග යන ලකුණු

by Staff writer 05-02-2019 | 6:46 AM
COLOMBO (News 1st) : අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කිරීමට ගනු ලැබූ කැබිනට් තීරණය අද දිනය තුළ නිවැරදි නොකළ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සහකාර ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව දැනට ක්‍රියාත්මක අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා දැඩි කිරීමට පියවර ගන්නා බවයි. සිය වැඩ වර්ජනය හේතුවෙන් රජයේ අදායම පහළ යමින් ඇතැයි ද ඔහු පැවසී ය. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසුවේ , සිය වැඩ වර්ජනයට සහය පළ කරමින් බහාලුම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට ප්‍රවාහන සංගම් පියවර ගෙන ඇති බවයි. මේ අතර කොළඹ සියලු තොග වෙළඳසල් අද දිනයේ වසා දමා තිබේ. ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. රජේන්ද්‍රන් මහතා සඳහන් කළේ, ක්‍රියාත්මක රේගු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. ඔහු පැවසුවේ, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ නිශ්කාෂණ කටයුතු ඇනහිට ඇති බවයි. ඒ හේතුවෙන්, ආනයනකරුවන් සහ තොග වෙළඳුන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ උපදේශක සී.එම්. අබේසේකර මහතා පැවසුවේ, නිශ්කාශනය කරගත නොහැකිව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් බහාලුම් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට රේගුවේ සිරවී පවතින බවයි.