by Staff writer 04-02-2019 | 9:03 PM
COLOMBO (News 1st) - News 1st රත්නපුර වාර්තාකරු අභාවප්‍රාප්ත රුචිර අබේමාන්න මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා රත්නපුරයේදී සිදු කිරීමට නියමිත වේ.
ඊයේ රාත්‍රි රත්නපුර, නව නගරයේදී සිදු වූ රිය අනතුරකින් අබේමාන්න මහතා ජීවිතක්ෂයට පත් විය.
රුචිර අබේමාන්න මහතා අනතුරට ලක් වූයේ ඊයේ රාත්‍රි සිය යතුරුපැදියෙන් රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ යමින් සිටියදීයි.
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව අසළදී යතුරුපැදිය ජීප් රථයක හා ලොරියක ගැටී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
අනතුරෙන් පසු පොලීසිය ඊයේ රාත්‍රි එම ස්ථානයට පැමිණ ජීප් රථය රැගෙන යාමට උත්සහ කිරීමේදී රැස් ව සිටි පිරිස නොසන්සුන් විණි.
පොලීසිය පැවසූවේ, මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තමා එම ජීප් රථයේ රියැදුරු යැයි ඔහු ප්‍රකාශ කර ඇති බවයි.
එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 6 වෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අභාවප්‍රාප්ත වන විට 47 වැනි වියෙහි පසු වූ රුචිර රොහාන් අබේමාන්න මහතා දරුවන් දෙදෙනෙකු සෙනෙහෙබර පියෙකි.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔහු රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස ද සේවය කරමින් සිටියේ ය.
දිගු කලක සිට නිව්ස්ෆස්ට් කණ්ඩායමේ ක්‍රියාශීලි සගයෙකු වූ අබේමාන්න මහතා ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා සිටි මාධ්‍යවේදියෙකි.
ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ ගම් දනව්වල සැරිසරමින් ජනතාව වෙනුවෙන් පුවත් වාර්තාකරණයේ නියැලුණු අතර පොදු ගැටලු හා අඩුපාඩු රැසක් බලධාරීන්ගේ අවධානයට යොමු කරන්නට ද සමත් විණි.
අබේමාන්න මහතාගේ දේහය ලෙල්ලොපිටිය බැරැන්ඩුව පිහිටි නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට නියමිත යි.