මැතිවරණයක් කැඳවීමට වෙනිසුවේලා ජනපතිගෙන් යෝජනාවක්

වෙනිසුවෙලාව ගොඩ ගැනීමේ විකල්පය යුදමය මැදිහත්වීමක් බව ජනපති ට්‍රම්ප් කියයි

by Staff writer 04-02-2019 | 10:29 AM
COLOMBO (News 1st) : වෙනිසුවෙලාවේ යුදමය මැදිහත්වීමක් සිදුකිරීම එරට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීමේ එක් විකල්පයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධූරෝට ධූරයෙන් ඉවත්වන ලෙස බටහිර රටවල් කළ බලපෑම් උත්සන්න වන පසුබිමකදීයි. කෙසේ වෙතත් අමෙරිකාව ඇතුළු බටහිර රටවල මෙම බලපෑම්, විනාශකාරී මැදිහත්වීමක් යැයි මධුරෝ හිතවාදී රුසියාව ප්‍රකාශ කළේ ය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මේ අනුව වෙනිසුවෙලාවේ යුදමය මැදිහත්වීමක් සිදුකිරීම සම්බන්ධයෙන් සලකා බැලෙමින් පවතින බවයි. මේ අතර උග්‍ර අර්බුදයකට මුහුණ පා සිටින වෙනිසුවෙලාවට ආධාර යැවීමට සූදානම් බව ද අමෙරිකාව ප්‍රකාශ කළේ ය. ඒ, වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා තමන් යැයි ප්‍රකාශයට පත් කළ එරට විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ගේ ඉල්ලීමක් අනුවයි. අන්තර්වාර ජනාධිපතිවරයා බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අමෙරිකාව , ඕස්ට්‍රේලියාව සහ ලතින් අමෙරිකානු රටවලින් ජුවාන් ගුවයිඩෝ ට සහය ලැබීම වෙනිසුවෙලාවේ දේශපාලන අර්බුදය උග්‍ර කිරීමට හේතුවිය. කෙසේ වෙතත් අමෙරිකාවේ ආධාර ප්‍රතික්ෂේප කළ වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධුරෝ සඳහන් කලේ , ආධාර ලබාදීමේ මුවාවෙන් වෙනිසුවෙලාවේ යුදමය මැදිහත්වීමක් සිදුකිරීමට අමෙරිකාව පසුබිම සකස්කරන බවයි.