රේගු නිලධාරීන් තවදුරටත් අකුරට වැඩ

රේගු නිලධාරීන් තවදුරටත් අකුරට වැඩ

by Staff writer 04-02-2019 | 7:47 AM
COLOMBO (News 1st) : හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුරෙන් ඉවත් කිරීම මුල්කරගනිමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක බව රේගු වෘත්තීය සමිති පවසයි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී. එස්. එම්. චාල්ස් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩකිරීම ඇරඹුවේ පසුගිය 29 වැනිදායි. අදාළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට මේ වනවිට රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය ,රේගු අධිකාරී සංගමය ,රේගු නිලධාරීන්ගේ සංගමය ,බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිශ්කාශනය කරන්නන්ගේ සංගමය ඇතුළු සංගම් රැසක් එක්ව සිටී. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, රටට අවශ්‍ය ද්‍රව්‍ය ලැබීමේ ප්‍රමාදයක් නිර්මාණය විය හැකි බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශය පැවසුවේ, රේගු දෙපාර්තමේන්තුව සඳහා ස්ථීර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරිමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි. අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් අනුව, විශ්‍රාමික හමුදා නිලධාරියෙකු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.