මාලි රාජ්‍යයේදී බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් දිවයිනට

by Staff writer 04-02-2019 | 5:08 PM

COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් අද පස්වරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් හා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ප්‍රධානීන් දේහයන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාර දෙනු ලැබුවේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වෙතයි. එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එම්.පී.රුවන් විජයවර්ධන මහතා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියේ ය. ඉකුත් 25 වැනි දා උදෑසන එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත මෙරට හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්විය. එම පිපිරීමෙන් මිය ගියේ කපිතාන් එච්.ඩබ්ලිව්.ඩී ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එස්. විජයකුමාර යන මහත්වරුන් ය. පිපිරීමෙන් තව ත් මෙරට හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලැබූහ.