by Staff writer 04-02-2019 | 8:55 PM
COLOMBO (News 1st) - මෙරට 71 වැනි අභිමානවත් ජාතික දිනය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබේ.
සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් දෙවැනි එළිසබෙත් මහ රැජිණ පවසා ඇත්තේ, 71 වැනි ජාතික දිනය සමරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට හා සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන බවයි.
මෙවන් අවස්ථාවක ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව තමන් සතුටුවන බව ද සිය සුබ පැතුම් පණිවුඩයෙන් ඇය පැවසුවා ය.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ද 71 වැනි ජාතික දින සැමරුම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.
රුසියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා අනෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්‍රශීලි බව ඉදිරියටත් නොසැලී පවතින බව සඳහන් කරන රුසියානු ජනාධිපතිවරයා ජනතා අභිලාෂයන් මල්ඵල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගාගෙන තිබෙන ද්වීපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවට සිය සුබ පැතුම් පණිවුඩයෙන් විශ්වාසය පළ කර තිබේ.
71 වැනි ජාතික දිනය වෙනුවෙන් ඉන්දියානු ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පැතුම් එක් කළේ ය.
අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින නොබිදෙන සබඳතාව ඉදිරියේදීත් තව ත් ශක්තිමත් වනු ඇති බව ද ඉන්දීය ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් විය.