දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට

දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට

by Staff writer 04-02-2019 | 12:08 PM
ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඔස්ට්‍රේලියාව අද ජය ගත්තේ ය. ඒ දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 366කින් ජය ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව පරාජය වූ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වූ මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 534ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවේ සියලු දෙනා ලකුණු 215ට දැවී ගියේ ය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී  ලකුණු 196ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුයේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක් ලබා දෙමිනි. අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 17ක් ලබා සිටියේ ය. දිනයේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 8කට දැවී ගිය අතර ලහිරු තිරිමාන්න ලකුණු 30ක් රැස් කළහ. දික්වැල්ල ලකුණු 27ක් රැස් කළේ ය. චාමික කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් හත්වැනි කඩුල්ලට ලකුණු 46ක සබදතාවක් ගොඩනැගූහ. කරුණාරත්න ලකුණු 22ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් රැසකළ ලකුණු සංඛ්‍යාව 42කි. ශ්‍රී ලංකා පිතිකරුවන් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට මිචෙල් ස්ටාර්ක් ප්‍රමුඛ ඔස්ට්‍රේලියා පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. ස්ටාර්ක් ලකුණු 46ට කඩුලු 5ක් දවා ගත් අතර පැට් කමින්ස් ලකුණු 15ට කඩුලු 3ක් දවා ගත්හ. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 51කදී ලකුණු 149කට දැවී ගියහ.