පුත්තලමේ දැරිය සොයා කලා ඔයේ මෙහෙයුමක්

පුත්තලමේ අතුරුදන් දැරිය සොයා කලා ඔයේ මෙහෙයුමක්

by Sagarika Chathumali 03-02-2019 | 11:36 AM
COLOMBO (News 1st) : පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේදී පසුගිය දා අතුරුදන් වූ දැරිය සොයා පොලීසිය හා නාවික හමුදා කිමිඳුම්කරුවන් කලා ඔයේ ඕළුමඩුව ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ මව විසින් කරන ලද ප්‍රකාශයකට අනුවයි. ඇය විසින් දැරිය දමන ලදැයි කියන ස්ථානය මෙලෙස සෝදිසි කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. පුත්තලම කරුවලගස්වැල නීලබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි එම සිව් හැවිරිදි දැරිය අතුරුදන්ව ඇති බවට පසුගිය මස 29 වන දා සාලියවැව පොලීසියට දැරියගේ මව පැමිණිල්ලක් කර තිබිණ. ඒ අනුව ඇය සොයා ගැනීම සඳහා පසුගිය දින 4 පුරාම සෝදිසි කිරීම් සිදුකළ ද ඇය පිළිබඳ තොරතුරක් ලැබී නොතිබිණ. පදිංචි සෙනුරි තිසාරා දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර දැරියගේ මව, මිත්තණිය සහ සීයාගෙන් ද අඛණ්ඩව ප්‍රකශ ලබාගනිමින් සිටි බව පොලීසිය මීට පෙර පැවසී ය. දැරිය සෙවීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 200කි.