අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවීමේ අවදානමක්

රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති වීමේ අවදානමක්

by Staff writer 02-02-2019 | 8:58 PM
COLOMBO (News 1st) - රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති විය හැකි බව එම ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීම ඇරඹුවේ පසුගිය 29 වන දා ය. එක් දිනක් තුළ සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 400ක් පමණ වරායෙන් නිදහස් කෙරෙන නමුත්, මේ දිනවල එම සංඛ්‍යාව 50-75ත් අතර ප්‍රමාණයකට අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි. රේගු වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, නව පත් කිරීමට අදාළ කැබිනට් ප්‍රතිකාව ඉවත් කර ගන්නා තෙක් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ය. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිශ්කාශනය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටියි.