දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා

දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා

by Staff writer 02-02-2019 | 9:07 PM
(News 1st) - ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අදයි. කැන්බරාහිදී පැවැත්වෙන මේ තරගයේදී ආබාධයකට ලක්ව රෝහල්ගත කළ දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 384ක් රැස් කර ගෙන සිටියේ ය. කර්ටිස් පැටර්සන් මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර නායක ටිම් පෙයින් නොදැවී ලකුණු 45යි. කඩුලු 5ක් දැවී ලකුණු 534ක් රැස් කර ගෙන සිටියදී ඔස්ට්‍රේලියාව පළමු ඉනිම අත්හිටුවූවේ ය. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න සමත් විය. අනපේක්ෂිත ලෙස කරුණාරත්නට පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ, පැට් කමින්ස් යොමු කළ පන්දුවක් ගෙලෙහි වැදීම හේතුවෙනි. ඒ වන විට ඔහු ලකුණු 46ක් රැස් කර ගෙන සිටියේ ය. ලහිරු තිරිමාන්න ලකුණු 41යි. අද දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 123කි.