වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නිෂ්පාදන කළ වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට

by Staff writer 01-02-2019 | 9:43 PM

COLOMBO (News 1st ) - ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදන කරන ලද වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍ය වෙත නිල වශයෙන් භාරදීම අද සිදු කෙරුණි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කොළඹ වරාය පරිශ්‍රයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ දී මෙම යාත්‍රා දෙක භාරදීම සිදු විය. සීෂෙල්ස් උපජනාධිපති වින්ස්ට් මෙරිටන් මහතා වෙත යාත්‍රා භාරදීමට අදාළ ලිපි ලේඛන නිල වශයෙන් පිළිගන්වනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. ඉකුත් ඔක්තෝබර් මාසයේදී සීෂෙල් රාජ්‍ය සංචාරයේ ද ජනාධිපතිතුමා ලබා දුන් පොරොන්දුවක් අනුව මෙම යාත්‍රා සීෂෙල්ස් රාජ්‍ය වෙත පිරිනැමුණි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙවන් තව ත් යාත්‍රාවක් මුදල් ගෙවා ලබා ගැනීමට ද සීෂෙල්ස් රාජ්‍ය කැමැත්ත පළ කළ බවයි. මෙහිදී සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරුණි.