රනිල්ට එරෙහි පෙත්සම් විභාගය ලබන 12 වන දාට කල් යයි

රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය ලබන 12 වන දාට කල් යයි

by Staff writer 01-02-2019 | 11:52 AM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම විභාග කිරීම ලබන 12 වන දාට කල් තැබිණි. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය ගොනු කළ එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. හිරාන් අනිල් ගුණරත්න හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් පෙත්සම් විභාගයේ විනිසුරුවරු ලෙස අද පෙනී සිටියහ. ඒ, පෞද්ගලික හේතුවක් මත අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය එම පෙත්සම විභාග කිරීමෙන් ඊයේ ඉවත්වීම හේතුවෙනි. රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා මුදල් උපයන සීමා සහිත ලේක්හවුස් ප්‍රින්ටින් ඇන්ඩ් පබ්ලිෂස් පුද්ගලික සමාගමේ වික්‍රමසිංහ මහතා ප්‍රධාන කොටස්කරුවෙකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි යැයි පවසමින් අදාළ පෙත්සම ගොනු කර තිබේ. ඉන් ඉල්ලා සිටින්නේ, වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු බවට නිගමනය කර ඔහු එම මන්ත්‍රී ධූරය දැරීම වළක්වන කෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ය.