නීති විරෝධී දුම්වැටි තොගයක් පිටකොටුවේදී අත්අඩංගුවට

රු. මිලියන 20ක නීති විරෝධී දුම්වැටි තොගයක් පිටකොටුවේදී අත්අඩංගුවට

by Staff writer 01-02-2019 | 8:35 AM
COLOMBO (News 1st) - පිටකොටුව, ඔරලෝසු කණුව අසළදී කුඩා කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ,එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වන බව ය. මෙම දුම්වැටි කන්ටේනරය ඩුබායි සිට මෙරටට නැව් අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් ආනයනය කර තිබේ. එහි තිබී සොයා ගෙන ඇති දුම්වැටි ප්‍රමාණය ලක්ෂ 04කි. රේගු පරීක්ෂාවෙන් අනතුරුව පිටතට රැගෙන යාමෙන් පසු මෙය අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක ය.