රේගු නිලධාරීන් අකුරට වැඩ

නව අධ්‍යක්ෂ ජෙනරාල් පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා තෙක් රේගු නිලධාරීන් අකුරට වැඩ

by Staff writer 01-02-2019 | 9:29 PM

COLOMBO (News 1st) - රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා තෙක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්නොහරින බවට රේගු නිලධාරීන් අනතුරු අඟවති.

ගැටලුව නිරාකරණය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා මෙතෙක් සාර්ථකවී නොමැත. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම් චාල්ස් මහත්මිය මුදල් අමාත්‍යාංශයේ ආදායම් අධීක්ෂණ අංශයට මාරුකර නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට පසුගිය දා මුදල් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය. ඊට එරෙහිව රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹු අතර අද යළි ත් සාකච්ඡාවක් පවත්වා තිබේ. මුදල් අමාත්‍යාංශය පැවසුවේ, අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට අයෙකු පත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ කාර්යයක් බවයි. යළි සේවයට වාර්තා කරන ලෙස ද අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත. එහෙත් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පැවසූවේ, ගැටලුවට නිසි විසඳුමක් නොලැබුන නිසා සිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ධූරයට මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා පත් කෙරුණේ ඊයේ ය.