අමෙරිකානු ජනපති චීන ජනපති හමු වීමේ අපේක්ෂාවෙන්

අමෙරිකානු ජනපති චීන ජනපති හමු වීමේ අපේක්ෂාවෙන්

by Staff writer 01-02-2019 | 8:16 AM
(News 1st) - හැකි ඉක්මනින් චීන ජනාධිපතිවරයා හමු වීමට තමා අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උප අග්‍රාමාත්‍ය ලියුහි අතර පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර ඇති බව ය. චීනය සහ අමෙරිකාව අතර උද්ගතව ඇති වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති. මෙම සාකච්ඡාවලදී දෙරට අතර ප්‍රධාන පෙළේ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කළේ ය. මේ අතර උතුරු කොරියානු - අමෙරිකානු නායකයින් අතර දෙවන හමුව පැවැත්වීම සම්බන්ධ සියලු තොරතුරු ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කර තිබේ. ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව කියා සිටියේ ය. තමන් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අතර මෙම දෙවන හමුව දෙරටේම අනාගතයට අතිශය වැදගත් වනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු හමුව පසුගිය ජුනි මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්විණි.