වැලි බලපත්‍ර නීති කඩ කරන්නන් සොයා මෙහෙයුම්

වැලි බලපත්‍රවල කොන්දේසී කඩ කරන්නන් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම්

by Staff writer 31-01-2019 | 7:29 AM

COLOMBO (News 1st) - වැලි කැණීම් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරන බලපත්‍රලාභීන් සොයා අද සිට මෙහෙයුම් ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ, මෙහි පළමු අදියර පසුගිය ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක කළ බවයි. ඒ අනුව ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසි උල්ලංඝණය කර ඇති බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, වැලි කැණීම් සඳහා අවසර නොදෙන ගංඟා ආශ්‍රීතව අවිධිමත් වැලි ගොඩදැමීම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් විධිමත් කරන බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. මේ වන විට කළු, කැලණි යන ගංඟාවල සහ දැදුරු සහ මා ඔයේ වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබේ. මේ අතර බලපත්‍ර සීමා උල්ලංඝණය කරමින් වැලී කැණීම් කළ ස්ථාන 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව පසුගිය වසරේ නීතිමය ක්‍රියාමාර්ග ගත් බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එම කාර්යාංශය සඳහන් කළේ, නීති විරෝධි වැලි කැණීම් සම්බන්ධයෙන් 500 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පසුගිය වසරේ හැකි වූ බවයි.