මත්ද්‍රව්‍ය ජාවාරම: බංග්ලාදේශයට පොලිස් කණ්ඩායමක්

බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් කණ්ඩායමක් එරටට

by Staff writer 31-01-2019 | 6:28 AM

COLOMBO (News 1st) - බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයින්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙරට නිලධාරී කණ්ඩායමක් යොමු කිරීමට තීරණය කරයි.

පොලීසිය සඳහන් කළේ, අනුමැතිය ලද විගස එම කණ්ඩායම බංග්ලාදේශය වෙත පිටත් කර යවන බවයි. ඉදිරි සතිය ඇතුළත එම කටයුතු සිදු කෙරෙනු ඇති. මේ අතර පෙරේදා ඩකාහිදී අත්අඩංගුවට පත් පස්දෙනා අතුරින් එක් කාන්තාවක් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බවට තොරතුරු අනාවරණ වී තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගිය දා රත්මලාන ප්‍රදේශයෙන් හෙළි වූ මෙරට විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ගෙන යෑම සඳහා මෙම කාන්තාව මැදිහත්වී ඇති බවයි. මත්ද්‍රව්‍ය සඟවා තබා ගැනීමට භාවිත කළ කුලී නිවස ද ඇය මුදල් ලබා දී ඇති බව මේ වන විට කළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ. සැකකාර කාන්තාව සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට ද පියවර ගන්නා බව පොලීසිය ප්‍රකාශ කළේ ය. බංග්ලාදේශ ඩකා අගනුවරදී අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හතරදෙනා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. පෙරේදා පස්වරුවේ සැකකාර බංග්ලාදේශ ජාතිකයින් පස්දෙනෙකු එරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.