ගෝඨාභයට එරෙහි නඩුව:විශේෂ මහාධිකරණයට බලයක් තිබේ ද?

ගෝඨාභයට එරෙහි නඩුව විශේෂ මහාධිකරණයේ විභාග කර අවසන් කිරීමට නීතිමය බලයක් තිබේ ද?

by Staff writer 31-01-2019 | 9:30 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුව ලබන 11 වන දා නිකුත් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ය. නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් විත්ති පාර්ශවය මෙලෙස විවිධ විරෝධතා ඉදිරිපත් කරමින් උත්සහ කරනුයේ එම නඩුව අඛණ්ඩව විභාග කිරීමට බාධා කිරීම බව පෙන්වා දුන්නේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, එවැනි මූලික විරෝධතාවක් තිබුණේ නම් නඩුව ගොනු කළ මුල් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම විත්තියේ යුතුකමක්ව තිබූ බව ය. රජය රුපියල් ලක්ෂ ගණනක් වැය කර මේ වන විට විත්තියට ලේඛන දහස් ගණනක් යවා ඇති බව ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය. එබැවින් විත්තියේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර නඩු විභාගය අඛණ්ඩව පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. දිනයේ කටයුතු අවසන් වීමෙන් පසුව විත්ති පාර්ශවය නියෝජනය නොකරන නීතිඥවරුන් මාධ්‍ය හමුවේදී නඩුව සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් කැපී පෙනීමට උත්සාහ දරණ බව එහිදී පෙන්වා දුන් පීරිස් මහතා, එවැනි ක්‍රියා වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එවැනි ක්‍රියා නිසා සාක්ෂිකරුවන්ට නිරවුල්ව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීමට යම් කිසි බලපෑමක් වන බව තම අධිකරණය ද පිළිගන්නා බව සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා එහිදී ප්‍රකාශ කළේ ය. විනිසුරුවරයා සඳහන් කළේ, තම අධිකරණයට ගරු කර සියලු දෙනා කටයුතු කරනු ඇතැයි තම අධිකරණය සිතන බවත්, එලෙස කටයුතු නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව අධිකරණයට පවතින බවත් ය.