අභියාචනාධිකරණ ස. විනිසුරු පත් කිරීම පමා වන හේතුව

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය පත් කිරීම ප්‍රමාද කරන්නේ කවුද?

by Staff writer 31-01-2019 | 7:59 PM
COLOMBO (News 1st) - අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදහස් පළ කළේ ය.
විමල් වීරවංශ - පා.ම. එක්සත් ජනතා නිදහස් සන්ධානය "ජනාධිපති යවනවා ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන්ගේ නම්. කරු ජයසූරිය මහත්තයා, අගමැතිතුමා ඇතුළු ගෝල බාලයෝ ඉන්න ව්‍යවස්ථාදායක සභාවෙන් ඒගොල්ලන්ට හරියන එන්.ජී.ඕ. පප්පෙක් නෙවෙයි නම් හරවලා යවනවා. ආයි යවනවා. ආයි හරවලා යවනවා. දැන් මේ දවස්වල අභියාචනාධිකරණ විනිශ්චය සභාපති ඒ සභාපතිතුමිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය පත් කරලා යවනවා. දැන් දෙපාරක් ව්‍යවස්ථාදායක සභාව හරවලා එවනවා."
කථානායක කරු ජයසූරිය මහතා නිල බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය දරණ අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සභාවට පත් වන්නේ නිල බලයෙනි. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මහින්ද සමරසිංහ මහතාත් විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරළ මහත්මියත් කටයුතු කරති. සුළු පක්ෂ නියෝජිතයා ලෙස පත් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ය. ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වක්කුමරන් යන මහත්වරු සිවිල් ක්‍රියාකාරීන් නියෝජනය කරති.