අධික ශීත කාලගුණයෙන් අමෙරිකාවට දැඩි බලපෑම්...

අධික ශීත කාලගුණයෙන් අමෙරිකාවට දැඩි බලපෑම්...

by Staff writer 31-01-2019 | 9:50 AM

කලාතුරකින් අත්විඳීමට සිදුවන දරුණු ශීත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් අමෙරිකාවේ මධ්‍යම බටහිර දිග ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෝලර් වෝටෙක්ස් ලෙස හැඳින්වෙන මෙම ආක්ටික් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැනටමත් එරට ප්‍රාන්ත කිහිපයක පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති බවයි. මේ වනවිට අමෙරිකාවේ චිකාගෝ නුවර උෂ්ණත්වය සෙලිසියස් අංශක සෘණ 30 ක් දක්වා ද උතුරු ඩකෝටාහි උෂ්ණත්වය සෙලිසියස් අංශක සෘණ 37 ක් දක්වා ද පහතවැටී ඇති අතර එය ඇන්ටාටිකාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවන උෂ්ණත්වයට ද වඩා අඩු උෂ්ණත්වයකි. මෙම අධික ශීත කාලගුණ තත්ත්වය අමෙරිකානුවන් මිලියන 250 කට බලපෑම් කරනු ඇති අතර ඉන් මිලියන 90 ක් සෙලිසියස් අංශක සෘණ 17 ට අඩු උෂ්ණත්වයක් අත්විඳනු ඇත. ග්‍රේට් ලේක්ස් සහ නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශවලට මෙන්ම විස්කොන්සින් සහ ඉලිනොයී ප්‍රාන්ත වෙත අද දින පුරා හිම පතිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවතින තත්ත්වය හමුවේ විස්කොන්සින්, මිචිගන්, ඉලිනොයී මෙන්ම ඇලබාමා සහ මිසිසිපි ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. මෙය ඓතිහාසික සිදුවීමක් බව අමෙරිකානු කාලගුණ විද්‍යාඥයකු වන රිකී කැස්ත්‍රෝ පවසයි. මේ හමුවේ මධ්‍යම බටහිර ප්‍රදේශයේ ගොවීන් සිය කුකුළන් සහ ගවයන් ඇතුලු සතුන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර පීටා සංවිධානය සුරතල් සතුන් නිවෙස් තුළ තබා ගන්නා ලෙස ජනතාව දැනුවත් කර ඇත. සුළි කුණාටුව හමුවේ චිකාගෝහි ගුවන් ගමන් 1500 ක් පමණ අවලංගු කර ඇති අතර දුම්රිය ධාවනය ද අඩාල වී ඇතැයි සඳහන් වේ.