by Staff writer 30-01-2019 | 9:54 PM
News 1st : සිරස මාධ්‍ය ජාලයට තර්ජනය කිරීම හා මාධ්‍ය නිදහසට බාධා කිරීමට එරෙහිව එම්. ටී. වී. චැනල් පුද්ගලික සමාගම සහ එම්. බී. සී. නෙට් වර්ක්ස් පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ නඩු විභාගය ලබන ඔක්තෝබර් 24 වන දා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු හා එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබී ය.
පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස නම් කර තිබූ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා හෝ ඔහුගේ නීතිඥවරයා අද අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් පසුගිය සැප්තැම්බර් 03 වැනිදා වන විට එම මුලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ගොනු කිරීමට පළමුවන වගඋත්තරකරුට අධිකරණය දින ලබා දී තිබු නමුත් අදාළ විරෝධතා ගොනු කර ඇත්තේ නියම කළ කාලය ඉකුත් වී මාස 4 කට පමණ පසුව බව අධිකරණයට පෙන්වා දුන්නේ ය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් පසුගිය වසරේ අප්‍රේල් 04 වන දා රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රතිඤ්ඤා පුපුරවා හරිමින් අදාළ තර්ජනය සහ බාධා කිරීම් සිදුකර තිබිණ.
ඒ සඳහා පැමිණි පිරිස් කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැමිණි බවට ද අනාවරණය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම සලකා බැලූ පූර්වගාමී අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක් එම්. ටි. වී. චැනල් පුද්ගලික සමාගම සහ එම්. බී. සී. නෙට් වර්ක්ස් පුද්ගලික සමාගම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විවාදයට ගැනීමට පසුගිය වසරේ ජුනි 29 වන දා තීරණය කළේ ය.