මාලි රටේදී මියගිය හමුදා සාමාජිකයින්ගේ සිරුරු ලබන 2 වැනි දා දිවයිනට

by Staff writer 30-01-2019 | 11:45 AM

COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ  මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු ලබන 02 වැනි දා දිවයිනට රැගෙන ඒමට නියමිත වේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එදින පස්වරු 3.10 ට දේහයන් යුද හමුදාපතිවරයා වෙත භාර දෙන බවයි. ඒ, එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ අණදෙන නිලධාරියෙකු විසිනි. මීට අමතරව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් තිදෙනෙකු ද මෙරටට පැමිණීමට නියමිත බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඉකුත් 25 වැනි දා උදෑසන එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත මෙරට හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්විය. එම පිපිරීමෙන් මියගියේ කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී ජයවික්‍රම සහ ක්‍රෝපල් එස්. එස්. විජයකුමාර යන මහත්වරුන්ය. පිපිරීමෙන් තව ත් මෙරට හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලැබුහ. මේ අතර බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ නිලයන් උසස් කර තිබේ. ඒ අනුව කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී. ජයවික්‍රම මහතා මේජර් නිලයට උසස් කර ඇතැයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩයර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. කෝප්‍රල් එස්. එස්. විජයකුමාර මහතා සැරයන් නිලයට උසස් කර තිබේ.