Grand Hyatt හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙයි

Grand Hyatt හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙයි

by Staff writer 29-01-2019 | 9:12 PM
COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන 3ක පූර්ණ කොටස් හිමිකාරිත්වය ඇති කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලය විකුණා දැමීමේ පිඹුරු පත් සැකසෙමින් තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදලේ කොටස් ආයෝජනයෙන් කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලය ඉදිකෙරිණි. එය පරිපාලනය කරන්නේ, සිනෝ ලංකා හොටෙල් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගමයි. සිනෝ ලංකා සමාගමේ සියලු කොටස් අලෙවි කිරීම සඳහා ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවන් හරහා එම්.ටී.අයි. කන්සල්ටින් නමැති උපදේශන සමාගමක් පූර්ව ප්‍රචාරක පත්‍රිකාවක් බෙදා හැර තිබේ. අප වෙත ලැබුණු වාර්තාවලට අනුව ලොව වටා සිටින ආයෝජක තැරැව්කරුවන් කිහිප දෙනෙකුට පමණක් මෙම ලිපි යවා තිබීම විශේෂත්වයකි. මීට මාස කිහිපයකට පෙර මෙම උපදේශන සමාගම පුවත්පත් දැන්වීමක් පළ කරමින් ජාත්‍යන්තර ආයෝජකයින්ට හයට් හෝටලයේ ආයෝජන සඳහා ඇරයුම් කළේ ය. එහිදී අප පෙන්වා දුන්නේ, කෙටි කාල සීමාවක් තුළ ජාත්‍යන්තර ආයෝජන කැඳවීම පිටුපස වංචාවක් තිබිය හැකි බව ය. ආණ්ඩු මාරුවත් සමග මේ සම්බන්ධ කථාබහ යටපත් වූ අතර දැන් යළිත් එය කරළියට පැමිණ තිබේ. සීමිත පිරිසක් අතරේ පත්‍රිකාවක් බෙදා හැර ආයෝජකයින් සෙවීමේ ක්‍රියාවලිය ප්‍රශ්න සහගත ය. මීට අමතරව මෙම හෝටල් ව්‍යාපෘතියට අදාළව සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු පිරිසකට එරෙහිව දැනටමත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ. තෝරා ගත් පාර්ශවයකට වාසි සහගත අයුරින් ග්‍රෑන්ඩ් හයට් හෝටලය විකුණා දැමීමේ සැලසුමක් යළිත් ක්‍රියාත්මක වනවා ද? මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කර ඇත්තේ රටේ ජනතාවගේ මුදල්. එම නිසා ඒවාට සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමේ අයිතිය රටේ ජනතාව සතු වේ.