සොයා ගැනීමට නැතැයි කියන අර්ජුන මහේන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතු වෙයි

by Staff writer 29-01-2019 | 8:58 PM
COLOMBO (News 1st) - බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කර ඇති මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දකුණු අප්‍රිකානු මාධ්‍යයකට මුදල් විශුද්ධිකරණය පිළිබඳව විග්‍රහයක් කර තිබේ. ජාත්‍යන්තර බැංකුවකට අදාළව මුදල් විශුද්ධිකරණය පිළිබඳව මෙම විග්‍රහය අර්ජුන මහේන්ද්‍රන් මහතා සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට ප්‍රසිද්ධ කරන බිස්නස් ලයිව් වෙබ් අඩවියටයි. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සහ මැද පෙරදිග රටවල පවුල් ව්‍යාපාරවලට උපදෙස් සපයන අයෙකු ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබයි. මහේන්ද්‍රන් මහතා සොයා ගැනීමට නැතැයි පවසා මේ වන විට වසරක පමණ කාලයක් ගත වේ. අධිකරණය මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නැයි නියෝග කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට අදාළව අධිකරණයේ ගොනු කර ඇති කරුණු මත පදනම්ව ය. මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකිව ඇති අර්ජුන මහේන්ද්‍රන් දකුණු අප්‍රිකාවේ මාධ්‍යයකට සොයා ගැනීමට හැකි වී තිබේ. මින් පෙනී යන්නේ නොහැකියාව ද? වුවමනාවක් නොමැති කමද?